සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

– amarapura sri kalyaniwansha nikaya  |  since 1810 –

උපසම්පදාවෙන් වස් 60ක් සපිරෙන අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ

වර්ෂ 2021 ජූනි 17 වැනි දිනට උපසම්පදාවෙන් වස් හැටක් සපිරෙන, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව, දීර්ඝායුශ වේවා! ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සියලු ශාසනික කටයුතු සඵල වේවා! චිරාත් කාලයක් සසුනඹර බැබළවීමට වැඩ වසත්වා!

ඓතිහාසික රැහුණු පුරවරයේ, මාතර දිස්ත්‍රික්කයේ, දොඩම්පහල නමැති රමණිය ග්‍රාමප්‍රවරයේදී වර්ෂ 1939 දෙසැම්බර්‌ මස 20 දින එගම්වැසි, එදිරිවීර පටබැ‍‍‍‍ඳිගේ සරණේරිස්‌ සිල්වා මහතාට සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට උතුම්‌ පුත්‌ රුවනකට හිමිකම්‌ කීමේ විරළ වාසනාව උදාවෙයි. එම්‌ දෙපළට දාව උපත ලද මේ කුමරුවා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයන්ගෙන්‌ සමූපශෝභිත වීය. සුදුසු වයස පැමිණි විට අධ්‍යයන කටයුතු සඳහා යොමු කළ මෙකුමරුවාණෝ මුලික අධ්‍යයන කටයුතු දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන්‌ ලැබිය.

මේ අතර පැවිදි විමට ඇති කැමැත්ත නිසා, ඊට අවැසි මූලික වත්‌ පිළිවෙත්‌ මාතර වීරබා පිරුවණින් ලබා වර්ෂ 1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී, නුපේ ජයමහා විහාරාධිපති, විද්‍යාවිශාරද පණ්ඩිත, මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන්‌ වහන්සේගේ සහ වාලුකාරාමාධිපති, මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන්‌ වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන්‌ උතුමි ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්‌ විය.

පැවිදි දිවියට ඇතුළත් වීමෙන්‌ පසු මූලික අධ්‍යයන කටයුතු සඳහා මාතර වීරබා පිරිවෙණට ඇතුළත්‌ වූ දොඩම්පහල චන්දසිරි හෙරණපාණෝ, එහිදී පැවිදි දිවියට අවැසි වත්‌ පිළිවෙත් මැනවින්‌ උගත්හ. ඉන්‌ අනතුරුව උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා යොමු වූ උන්වහන්සේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණට ඇතුළත්ව විද්‍යාලෝක පරිවෙණාධිපති ධූරය හෙබවු, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අතිගරු අකුරටියේ අමරවංස නායක මාහිමියන්‌ වහන්සේ සහ තොටගමු රත්පත්‌ රජමහ විහාරාධිපති රාජකීය පණ්ඩිත, සාහිත්‍ය විශාරද, අතිගරු ගම්මැද්දේගොඩ ශ්‍රී පුඤ්ඤාසාර නායක මාහිමියන්‌ වහන්සේ ගුරුතන්හි තබා ගනිමින්‌ සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව ඡ‌න්දෝලංකාර ආදි විෂයයන්‌ පිළිබඳව ප්‍රාමණික උගතෙකු බවට පත්වු හ.

මේ වන විට විසිවසක්‌ සම්පූර්ණව උපසම්පදාර්හව වැඩ සිටි අප හිමිපාණෝ වරෂ 1962 ජුනි මස 17 වෙනි දින මාතර නිල්වලා නදී සීමා මාලකයේ දී එවකට ශ්‍රී කල්‍යාණිවංස මහා නිකායේ මහානායක ධුරන්ධරව වැඩ සිටි විද්‍යා විශාරද පණ්ඩිත, අතිගරු මාතර මේධානන්ද මහානායක මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ අතිගරු මාතර සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සුපරිශුද්ධාපසම්පදාවට ඇතුළත් විය.

උපසම්පදාවෙන්‌ පසු අගනුවරට සම්ප්‍රාප්ත වූ දොඩම්පහළ චන්දසිරි ස්වාමීන් වහන්සේ, මාතර ශ්‍රී සද්ධාරාම නායක මාහිමියන්‌ වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන්‌ වූ කුඩාවැල්ලේ වංගිස අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේගේ සෙවනෙහි භාවනා ප්‍රගුණ කිරීමට පටන්‌ ගන්‌ අතර, විපස්සනා කම්මට්ඨානාචරිය අතිගරු කහටපිටියේ සුමතිපාල මාහිමියන්‌ වෙතින්‌ එය වැඩි දියුණු කර ගත්හ. අභිධර්මය කෙරෙහිද විශේෂ උනන්දුවක් දැක්වූ අප හිමිපාණෝ දෙමටගොඩ මහා විසුද්ධාරාමයේදී අභිධර්ම විශාරද අතිගරු දෙවිනුවර ඤාණාවාස මාහිමියන්‌ වෙතින්‌ අබිදම්‌ ඉගෙන ඒ පිළිබඳව ද ප්‍රාමාණික උගතෙකු බවට පත්වූහ.

විපස්සනා භාවනා පුහුණුව ලැබූ අපේ චන්දසිරි ස්වාමීන්‌ වහන්සේ අතිගරු කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව වර්ෂ 1962 දී විශේෂ කර්තව්‍යයකට මුල පිරූහ. එනම් කලපළුවාව පෙදෙසින් අක්කර අටක පමණ භූමි භාගයක් ලබා ගෙන එහි “ගෝතම තපෝවනය” නමින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටු විමයි. අද වන විට මෙය ශාඛා, ප්‍රශාඛා වශයෙන්‌ ලක්දිව නොයෙක්‌ පළාත්වල ව්‍යාප්තව ඇත. මේ කර්තව්‍ය අපේ චන්දසිරි ස්වාමීන්වහන්සේ අතින් සිදු වූ වැදගත්ම ක්‍රියාව ලෙස අගය තළ හැකිය. අද වනවිට විපස්සනා භාවනා ක්‍රමය මේ හේතුවෙන්‌ ලක්දිව පුරාම පාහේ ව්‍යාප්තව ඇත. අතිගරු කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන්‌ වහන්සේ වර්ෂ 1962 දී අපවත්‌ වූයෙන්‌ ශ්‍රී ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති ධුරයට දොඩම්පහළ චන්දසිරි ස්වාමීන්වහන්සේ පත් වුහ.

එදින සිට අප දොඩමපහළ නායක හාමුදුරුවෝ කලපළුවාවේ ගෝතම තපෝවනයට වැඩම කොට මාතිකමාතා සමිතියේ පිංවතුන්‌ සමග එක්ව ගෝතම තපෝවනයේ දියුණුවට සුවිශාල සේවාවක්‌ සිදු කළහ. මේ අතරතුර ශ්‍රී කල්‍යාණිවංස නිකාය මගින්‌ ‘තපෝවන සංඝනායක’ පදවිය පිරිනැමු අතර, ඉන්‌ ටික කලකට පසු ‘ප්‍රධාන අධිකරණ සංඝනායක’ ‘අනුනායක’ යන ධුරද්වයෙන්‌ ද පුදනු ලැබුහ. මේ අතර කල්‍යාණිවංශ මහා නිකායේ මහා නායක ධුරය හෙබවූ, මහෝපාධ්‍යාය, විමලකීර්ති හ්‍රී කොග්ගල සිරි විසුද්ධි නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1996 දී අපවත්‌ වූයෙන්‌ එතෙක්‌ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන්‌ වහන්සේ වර්ෂ 1996 මාර්තු 31 දින දොඩන්දූව, ශෛලබිම්බාරාම  මූල මහා විහාරයට රැස්වූ කල්‍යාණිවංශික සංඝ සභාව විසින්‌ ඒකමතිකව නිකායේ ‘මහානායක’ ධූරයට තෝරා පත්කර ගන්නා ලදහ. එම දිනයේ සිට මේ දක්වා අප නායක මාහිමියන්‌ වහන්සේ නිකායාභිවෘද්ධිය උදෙසා සිදුකළ සහ සිදුකරන මෙහෙවර අතිශය ප්‍රසංසනීය ය. කොටස්‌ තුනකට බෙදී වෙන්ව පැවති කල්‍යාණිවංශ නිකාය ඒකඡත්‍ත්‍ර කිරීමට දොඩම්පහළ චන්දසිරි මාහිමියන් කටයුතු කළ අයුරු ප්‍රශංසාර්භය. ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙවන ශතසංවත්සර පූර්ණය 2010 වසරේ දී අති උත්කර්ෂවත් අන්දමින්‌ සිදු කිරීමට ගත්‌ ක්‍රියාමාර්ග භා සංවිධානත්වය එහිලා ජීවමාන සාක්‍ෂ්‍ය සපයයි. පැවැත්මෙන්‌ ගමනින්‌ වචනයෙන්‌ සංචරශීලි වූ දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන්‌ වහන්සේගෙන් ඉටුවන ලෝකශාසනික සේවාව පිළිබඳ අවධානය යොමුකළ ශ්‍රී ලංකා අමරපුර මගාසංඝ සභාව එකී සංඝ සභාවේ උපසභාපති ධුරයකින්‌ ගෞරව කළ අතර වර්ෂ 2013 පෙබරවාරි මස 23 වන දින එම සංඝ සභාවේ සභාපති ධුරයට නිතරඟයෙන්‌ තෝරාපත් කරගනිමින්‌ නැවතත් ගෞරවෝපහාරය පුද කළහ. සභාපති පදවියට පත්ව ගෙවුනු පස්‌ වසර තුල අමරපුර මහා සංඝ සභාවේ අභිවෘද්ධිය වෙනුවෙත්‌ උන්වහන්සේ ඉටුකළ සේවය අතිශ්‍යය ප්‍රශංසනීයය. එමෙන්ම විවිධ උත්සව ආදිය සඳහා දසතින්‌ ලැබෙන ආරාධනා සඳහා වැඩමවමින් අමරපුර මහා සංඝ සභාවේ නියෝජනය ලබා දීමට උන්වහන්සේ ක්‍රියා කළේය. පස්වසරක ධුරකාලය 2018 වසරේදී අවසන්‌ කළ නාහිමියෝ එම වසරේදීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන්‌ පිදුම්‌ ලැබූහ. සම්බුදු සසුන වෙනුවෙන්‌ උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවන දොඩම්පහළ චන්දසිරි මහානායත ස්වාමින්ද්‍රයන්‌ වහන්සේ වෙත 2021 ජනවාරි මස 04 වන දින මියන්මාර්‌ රජය මගින්‌ අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමනු ලැබීය.

සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්‌ අමිල සේවාවක නිරතවෙමින්‌, ජන්මලාභයෙන්‌ අසූ එක්වසක් ද, පැවිදි දිවියේ සැත්තෑ වසක්‍ ද, උපසම්පදාවෙන්‌ වස් හැටක් ද සපුරන අමරපුර මහාසංඝ සභාවේ මහාමහෝපාධ්‍යාය ධුරන්ධර, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහානිකායේ මහානායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන්‌ වහන්සේට, තව තවත්‌ ලෝසසුන් වැඩ වඩන්නට බුද්ධාදීරත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවායි ඉතසිතින්‌ ආශිංසනය කරම්හ.

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය

You may also like

Events

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ 214 වන උපසම්පදා විනය කර්මය 2024 ජූනි මස 17 දින දොඩන්දූව ශෛලබිම්බාරාම මූලමහා විහාරයේ දී පැවැත්විණි.

Read More »
Events

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ ලෙස දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජමහා විහාරාධිපති සරණපාල වංශාලංකාර වාගීශ්වර ශ්‍රී සම්බුද්ධ සාසනාභිමාණි අතිපුජනීය ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නායක ස්වාමින් වහන්සේ පිදුම් ලැබූ වගයි.

Read More »
Events

මහානාහිමියෝ ශාසන මෙහෙවර නිමකොට නික්ම යති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කෙරිණි.

Read More »
News

අපගේ බලවත් සංවේගය යි!

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ නිල නිවේදනයයි.

Read More »
2022-02-26 උපසම්පදා උත්සවය
Events

අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ දෙසිය දසවන උපසම්පදා උත්සවය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසිය දසවන උපසම්පදා උළෙල අති උත්කර්ශවත් අන්දමින් ගිංතොට ශ්‍රී ථූපාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු අමරප්‍රසාද නම් වූ බද්ධ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2565 ක් වූ ව්‍යවහාර වර්ෂ 2022 ක් වූ පෙබරවාරි මස 26 වනදින සිදු කරන්නට යෙදුණි.

Read More »
Events

අමරපුර මහානිකාය උත්තරීතර මහනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2022 ජනවාරි 14 දින ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Read More »

Most popular