

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර, මහා විහාර වංශාලංකාර ශාසනවිභූෂණ අමරපුර ගණපාමොක්ඛාචරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී, වංගීසවංසාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය, අභිධජමහාරට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, මහාමහෝපාධ්‍ය, අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදුකෙරුණා.
අද පස්වරු 1 දක්වා රාජගිරිය කලපළුවාව ශ්‍රී ගෝතම තපෝවන විහාරස්ථානයේ තැන්පත් කර තිබූ දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය එතැන් සිට පොලිස් පෙර ගමන් රථ පෙරටු කොටගෙන, ගුවනේ පුෂ්පෝපහාර මධ්‍යයේ විශේෂ පෙරහරකින් කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ශ්‍රී දේහය භාරගෙන විශේෂ පීඨිකාවේ තැන්පත් කරනු ලැබුවා.
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරන්දර ආණමඩුවේ ධම්මදස්සී අනුනාහිමියන් මූලාසනය ගත් මෙම ආදාහන පූජෝත්සවයට කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී සංඝ සභාවේ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ වැඩබලන මහානායක කරගොඩ උයන්ගොඩ ශ්‍රී මෛත්‍රීමූර්ති නාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ධූරන්දර අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්, ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්, කොළඹ නවකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරන්දර ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්, කොළඹ 7 මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති අතිපූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුලු ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩම කළ අතර අන්‍යාගමික පූජක උතුමන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම මියන්මාර් රාජ්‍යයෙන්ද භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කළා.



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු කතානායක කරූ ජයසූරිය, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නියෝජිතයන්, මෙන්ම විදෙස් රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍යතාන්ත්‍රික දූතයන් මෙම ආදාහන පූජෝත්සවය වෙනුවෙන් සහභාගි වී සිටියා.
ජනාධිපතිවරයාගේ ශෝක ප්‍රකාශය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර අග්‍රාමාත්‍යවරයා ද ආදාහන උළෙල ඇමතූ අතර ස්තුති කතාව සිදුකළේ අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම් කේසරලාල් ගුණසේකර මහතා විසිනි.


දිවිමගේ 84 වන වර්ෂය සහ පැවිදි මගේ 73 වන වර්ෂය පූර්ණ කරමින් සිටියදී පසුගිය මැයි මස 16 වනදා පෙරවරුවේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ආසිරි රෝහලට ඇතුළත් කළ උන්වහන්සේ එහි ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින අපවත් වුණා.
ආචාර වෙඩිමුර 14 ක් පිරිනමා ජාතියේ ගෞරවය පුදකිරීමෙන් අනතුරුව අද පස්වරුවේ නාහිමි ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනිදැල් ඇවිලුණේ දශක 7 කට අධික මහා ශාසනික මෙහෙවරක නියැලුණු යතිවරයාණන් වහන්සේ නමකගේ දිවි චාරිකාව නිමාවට පත් කරමිනි.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරන්දර, අග්ගමහා පණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු, මහාමහෝපාධ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමිපාණන් වහන්ස, ඔබවහන්සේ අමාමහ නිවන් සුවයම අත් කරගනිත්වා!
